Friday, November 14, 2014

නිර්ආගමිකත්වය අර්ථදැක්වීම


මෙම ලිපිය ලාංකික නිර්ආගමිකයෝ අඩවියෙන් උපුටා ගත් ලිපියක් බව සලකන්න

             හැදින්වීම පිටුව තුළ අප විසින් “නිර්ආගමිකයා” යන වචනය නිර්වචනය කරනු ලැබු‍වේ “කිසිම ආගමක් නොමැති අයෙක්” යනුවෙනි. එකී නිර්වචනය වනාහී තවදුරටත් සුමට කළයුතු ඉතා ගොරෝසු නිර්වචනයක් බව එහිදී අපි කීවෙමු. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එකී සුමට කිරීම සිදුකිරීමට යි.
සෑම ආගමක් තුළම පාහේ සිත, ආත්මය, සාරධර්ම වැනි විවිධ පාරභෞතික හා සදාචාරාත්මක මාතෘකා සම්බන්ධයෙන්ම යම් යම් නිල ඉගැන්වීම් සමුදායක් දක්නට ලැබේ. නමුදු, නිරාගමික හෝ නිර්-ආගමික පුද්ගලයන් අතර සෑම දෙනාම විශ්වාස කරන හෝ අදහන නිල භාෂිතයක් නොමැත. උදාහරණයක් ලෙස, ඇතැම් නිරාගමිකයන් විසින් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි යනුවෙන් තර්ක කරයි. එමෙන්ම, ගණිකා වෘත්තිය තහනම් කළ යුතුය යන ස්ථාවරය දරන නිරාගමිකයන් ද සිටී. තවද, ඇතැම් නිරාගමිකයින් නිර්මාංශී ආහාර රටාවක් අනුගමනය කරන අතර තවත් නිරාගමික පිරිස් නිර්මාංශී ආහාර රටාවක් ගැන තැකීමක් නොකරයි. ගබ්සාව සම්බන්ධයෙන් ද නිරාගමියින් සෑම දෙනාම එකගවන පොදු ස්ථාවරයක් නොමැත.
එකිනෙකට වෙනස් නානාප්‍රකාර ලොදැක්මන් පිළිගන්නා වූ නිරාගමිකයින් සියලුම දෙනා පොදුවේ එකග වෙන කාරණා කිහිපයක් ඇත. ආගම් අදහන පිරිස් වලින් නිරාගමික පිරිස් වෙන්කර හදුනාගැනීමෙහිලා සාමාන්‍යයෙන් යොදාගැනෙනුයේ මෙකී කාරණා යි. එනම්,

  • දෙවියන් පිළිබද විශ්වාසය බැහැර කිරීම – නිරාගමිකයින් ලෙස අප ඒබ්‍රහමික ආගම් වල ඉගැන්වෙන දේව විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නෙමු. එම නිසා යමෙකුට අවශ්‍ය නම් අපව “අදේවවාදීන්” ලෙස ද හැදින්විය හැකි ය. නමුත්, දේව විශ්වාසය වනාහී හුදෙක් අප විසින් පිළිනොගන්නා විශ්වාසයන් අතුරින් එකක් පමණක් බැවින් අපව හැදින්වීමට “අදේවවාදීන්” යන වචනයට වඩා “නිරාගමිකයින්” යන වචනය වඩා උචිත යැයි සිතමු.
  • පුනර්භවය හෝ පුනුරුප්පත්තිය පිළිබද විශ්වාසය බැහැර කිරීම – අප සියලුදෙනා ජීවත්වනුයේ එක්වරක් පමණක්ය යන්න අපේ පිළිගැනීම යි. පෙරභවයක් ඇතැයි යනුවෙන් පැවසීම සදහා ඉදිරිපත් කර ඇති කුඩා දරුවන්ගේ “මතකයන්” වැනි දෑ මානසික ව්‍යාකූලතා, වංචනික ක්‍රියාවන් වැනි ස්වභාවාත්මක විස්තර කිරීම් වලට ඌනනය කළ හැකිය යන්න අප ස්ථාවරය යි.
  • ඒ හැරුණු කොට අප විසින් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, මැජික් (වේදිකා මැජික් නොවේ), දේවතාවන්, සුරංගනාවන්, සුරංගනාවියන්, දිව්‍යලෝක, අපාය, කර්මය, හොල්මන්, භූතයින්, ප්‍රේතයින්, ජෝතිශ්‍යය, වෘක්තවරුන්, නබිවරුන් වැනි අධිස්වාභාවික දෑ පිළිබද විශ්වාසයින් පිළිගනු නොලැබේ.

  • මෙහිදී අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් ඇත. එකක් නම්, නිරාගමික පුද්ගලයින් ලෙස අප විශ්වයේ ස්වභාවය හා හැසිරීම තේරුම් ගැනීම උදෙසා විද්‍යාත්මක ක්‍රමය භාවිතය කිරීම අගය කොට සළකනු ලබන නමුත් නිරාගමිකයින් යනු විද්‍යාව “ආගම ලෙස අදහන” පිරිසක් නොවන බවයි. විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රතියථාර්වාදී ස්ථාවරයක් දැරීමට නිරාගමිකත්වය තුළ බධාවක් නොමැත. එමෙන්ම නිරාගමිකයන් යනු භෞතිකවාදීන් නොවේ. බොහෝ නිරාගමිකයින් භෞතිකවාදීන් බව සත්‍ය ය. නමුත්, සියලු නිරාගමික පුද්ගලයින් භෞතිකවාදී ලෝදැක්මක් දරන්නේ නැත. සූරියකාන්ත මල්, ගෙම්බන්, ඉලෙක්ට්‍රෝන, ආලෝකය වැනි “භෞතික දේවල්” හැරුණුකොට සිත්, සංඛ්‍යාවන් වැනි අභෞතික දෑ ද විශ්වය තුළ පවතීය යන ස්ථාවරයේ සිටින නිරාගමිකයෝ ද සිටිති. නමුත්, සෑම නිරාගමික පුද්ගලයෙකුම හොල්මන්, සුරංගනාවන්, දෙවියන්, ප්‍රේතයින් යනාදී දේවල් වල පැවැත්ම පිළිගන්නේ නැත.
    එමෙන්ම, නිරාගමිකයින් ලෙස අප විසින් ආගම යනු රජය මගින් පාලනය කළ යුතු හෝ සැළකුම් ලබාදිය යුතු දෙයක් ලෙස සළකනු නොලැබේ. ආගම යනු මිනිසාගේ පෞද්ගලික දෙයක් බැවින් ආගම යන මාතෘකාව රජයට කොහෙත්ම අදාල නැත යන්න අප ස්ථාවරය යි. රජය හා ආගම එකිනෙකින් ස්වාධීන කළ යුතු බව අප කියා සිටින්නෙමු.
    අවසාන වශයෙන් කිවතොත්, මෙම අඩවිය තුළින් ශ්‍රී ලාංකික නිර්ආගමික පුද්ගලයින් හට සිය අදහස් ඉදිරිපත් කිරීමට වේදිකාවක් සකස් කර දීමටත්, නිරාගමිකත්වය සම්බන්ධ න්‍යායික කරුණු පිළිබද ජනතාව දැනුවත් කිරීමටත්, ආගමෙන් මත් නොවූ තාර්කික සමාජයකට උරදීමටත් අපි දායක වෙමු.