Tuesday, August 12, 2014

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

W3Lanka අඩවියෙන් උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්න
http://www.w3lanka.com/2014/06/blog-post_9255.html

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ.

මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා.

ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබඳ සාමාන්‍ය තත්වය දුර්වල මට්ටමක තිබෙන්නේ. වාර්ගික ගැටුම් මැද, ජාතිවාදී ව, තමන්ගේ ජාතිය පමණක් අති උත්තම ය කියා ජාතික ස්වෝත්තමවාදයෙන් අන්ධ වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය විදෙස් භාෂාවන්ට විවෘත වන්නේ සීමිතවයි. මෙහි හොඳ පැත්තකුත් නැති ය කියන්න බැහැ. එක පැත්තකින් අපේ භාෂාව මෙහෙම හරි ආරක්ෂා වෙලා තිබෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. හැබැයි, දැන් දැන් අ‍පේ නාගරික ප්‍රජාව කතා කරන්නේ සිංහලටත්, ඉංග්‍රීසියටත් දෙකටම අයත් නො වන සිංග්ලිෂ් භාෂාවක්. රේඩියෝ නාලිකාත් මේ සංකර භාෂාව ප්‍රවර්ධනය කරන්න සෑහෙන දායකත්වයක් සපයනවා.

"ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරන්න," යි කියන නිවේදක නංගිලා, අයියලා රේඩියෝ නාලිකාවල ඉන්නවා. (රේඩියෝ කියන සිංහල තත්සම වචනය ගුවන්විදුලිය කියන වදනට වඩා හොඳ ය කියා මම හිතනවා.)

පසුගිය දිනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අපේ පාඨකයකු වන ෆවාස් අපට එක් විහිළු කතාවක් කිව්වා. පසුගිය දිනවල ලංකාවේ තිබුණානේ චොගම්. ඒ කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව. එයට සහභාගි වන්නට ආ අයට කටුනායක ගුවන් තොටුපළේ මෙවැනි උපදෙසක් දුන්නා ය කියා මේ විහිළු කතාවේ කියවෙනවා. "මෙහේ භාෂාව හරි ලේසියි. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම නාමපදයක අගට 'එක' කියාත්, ඕනෑම ක්‍රියාපදයක අගට 'කරනවා' කියාත් යෙදුවාම ඔබට සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්."

කතාව ඇත්ත. අර නිවේදිකාව කතා කරන්නේත් එහෙම නේ.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මෙහෙම වෙලා තිබෙන්නේ පාසල් විෂය මාලාවන්ගේ ගැටලු නිසා. එක එක පිටරටවල ශිෂ්‍යත්ව ලැබ කරක් ගසා පැමිණි හිස් විශාරදයෝ කලින් කලට ලංකාවට විවිධ ඉංග්‍රීසි ඉගැන්වීමේ ප්‍රවේශයන් හඳුන්වා දුන්නා. ඒවා ගැන විස්තර කිරීම තේරුමක් නැහැ. මොකද, එ්වා සාර්ථක වෙලා නැති බව ඔප්පු වෙලා ඉවරයි නේ. ඇයි අපට බැරි අපේ සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්නා ගමන්, සිංහලත්, ඉංග්‍රීසිත් අතර සමානතා හා අසමානතා අධ්‍යයනය කරමින් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ක්‍රමවේදයක් හදන්න.

අනෙක් කාරණය තමයි, ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ ව්‍යාකරණ අධ්‍යාපනයක් නැහැ. මේ ‍විෂය නිර්දේශවල හා පෙළපොත්වල පුවේශය වන්නේ ඉංග්‍රීසි භාවිතා කරන ගමන් ව්‍යාකරණ  ඉගෙනීමයි. එහිදී අපි කරන්න බලාපොරොත්තු වන්නේ භාවිතා කරන භාෂාවේ තිබෙන ව්‍යාකරණ ගැන හැදෑරීමයි. හරියට සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නවා වගේ. ඒත්, කොළඹ ඉඳන් මේ විෂයමාලා සකස් කරන අය නො දන්නා කාරණය වන්නේ කොළඹින් පිට ඉංග්‍රීසි භාවිතය අවම බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ මිනිස්සු ව්‍යාකරණ රටා අනුව වාක්‍ය ගොඩනගන්න දන්නේ නැහැ. ‍ඒග්ල්ලො ඉංග්ලිෂ් නවුන්ස් අගට එක කියාත්, වර්බ්ස් අගට කරනවා කියාත් යොදා ස්පීක් කරන්නේ ඒ නිසායි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේත් ගුරු අධ්‍යාපනය පදනම් වී තිබෙන්නේ මේ අනුකාරකවාදී අදහස් මත මිස අපට ඔබින නිර්මානාත්මක චින්තනයක් මත නොවෙයි. මේ අතර, ඉංග්‍රීසි උගැන්වීමට ම උපන් සක්විතිලා වැනි වෙළෙන්දන් නිසාත් ඉංග්‍රීසි අධ්‍යාපනය විකෘති වෙනවා. වචන පාඩම් කරලා, වාක්‍ය පාඩම් කරලා කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැ. අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් විය යුත්තේ ව්‍යාකරණ දැනුම මතයි. ඒ වගේම අප හොඳින් දන්නා සිංහලය හා ඉංග්‍රීසි අතර වෙනස්කම්, සමානකම් අධ්‍යයනය කිරීමත් ඉංග්‍රී අධ්‍යාපනයේදී මහෝපකාරී වෙනවා.

W3Lanka අඩවියෙන් උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්න
http://www.w3lanka.com/2014/06/blog-post_9255.html

No comments:

Post a Comment