Tuesday, August 19, 2014

සතුන් ජීවත් වන සැටි -ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්


         ලෝකයේ ජීව වස්තු එනම් පණ ඇති වස්තු දෙවර්ගයක් තිබේ. මිනිසා ඇතුළු සත්ත්වයෝ එයින් එක වර්ගයකට අයත් වෙති. පැළෑටි අනික් වර්ගය වේ. මෙම දෙවර්ගයේ ඇති මූලික වෙනස කුමක්ද?
         සාමාන්‍ය පොදු ජනයා සිතාගෙන සිටින්නේ තැනින් තැනට යාමට පුළුවන්කම සහ වේදනාව සතුන්ට ඇති අතර ගස්කොළන් වලට එවැනි පුළුවන්කමක් නැති වීම එම වෙනස ය කියාය. එහෙත් මුතු බෙල්ලා වැනි ඇතැම් සතුන්ට ගමන් කිරීමට නුපුලුවන. ගමන් කරත හැකි ක්ෂුද්‍ර පැළෑටිද තිබේ. සතුන්ට වේදනාව දැනෙන අතර ගස් කොලන් වලට එවැනි දැනීමක් නැත යනු තවත් පොදු විශ්වාසයකි. එහෙත් මෙය නිශ්චය වශයෙන් තීරණය කිරීමට පුළුවන් කමක් නැත. මූලික වෙනස ඇත්තේ මේ එකක වත් නොව ආහාර සාදා ගැනීමෙහිය.
                සියළුම ජීව වස්තුවලට ආහාරය අවශ්‍යය. ආහාරය නැතිව කිසිම සතෙකුට වත් කිසිම පැළෑටියකට වත් ජීවත් විය නොහැකියි. එහෙත් ආහාර සාදා ගැනීමට පුළුවන් කම තිබෙන්නේ පැළෑටි වලට පමණය. සතුන්ට උවමනා ආහාර  පැළෑටිවලින් ලබා ගත යුතුයි. පැළෑටි පමණක් බුදින එළුවා හරකා ආදී සතුන් තමාට වුවමනා ආහාර එක එල්ලේම  පැළෑටි වලින් ලබා ගනිති. වෘකයා කොටියා වැනි මස් පමණක් කන සතුන් කරන්නේ පැළෑටි කන මුවා වැනි සතුන්ගේ මාර්ගයෙන් එම ආහාරය ලබා ගැනීමය.
                 පැළෑටි ස්වකීය ආහාරය සාදා ගන්නේ මුල්වල මාර්ගයෙන් පොළොවේ සිට ලබා ගන්නා ජලයෙන්ද වායුගෝළයෙන් ලබා ගන්න කාබන්ඩයොක්සයඩ් නම් වායුවෙන් ද වේ. මේ දෙක සම්බන්ධ කරමින් ආහාරය සෑදීමට වුවමනා ශක්තිය පැළැටිවලට ලැබෙන්නේ ඉර එළියෙන්ය. තවද වායුගෝළයට කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මනුෂ්‍යා අතුළු සියලුම සත්ත්වයින් ප්‍රශ්වාස කිරීමේ දී ය.   මනුෂ්‍යයා ද අනික් සත්ත්වයින් ද ආශ්වාස කරන ඔක්සිජන් වායුව වායුගෝලයට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ගස්කොළන් වලින්ය. මිනිසා සහ වෙනත් සත්තු ඔක්සිජන් වායුව ඇතුල් කරගෙන කාබන්ඩයොක්සයිඩ් වායුව පිට කරති. මෙසේ බලන විට සතුන්ගේ ජීවිතයත් ගස්කොළන්වල ජීවිතයත් පවතින්නේ ඉතාම කිට්ටු, ඉතා ම අවශ්‍ය, අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් ය.
                 මෙය මගේ වත් වෙන කෙනෙකුගේ වත් මතයක් නොව ඉතාම පැහැදිලි විද්‍යාත්මක සත්‍යයකි. අභාග්‍යකට මෙන් මෙම සත්‍යය අප විසින් බොහෝ විට නොසලකා හරිනු ලැබෙයි.
                   මෙම සත්‍ය, එනම් ලෝකයේ සිටින සියළුම සත්ත්වයින්ගේ ශරීරත් සියළුම පැළෑටිත් නොකැඩෙන එකම සම්බන්ධත්වයෙකින් වෙළී පවත්නා බව මොහොතකට හෝ පැහැදිලිව අපට පෙනී ගිය හොත් ඒ හේතුවෙන් ඉතා ම ලොකු වෙනසක් අපේ ජීවියෙහි සිදුවෙනවා ඇත. එවිට අද පවතිනවාට වඩා අනුකම්පා සහගත ඇසකින් සතුන් දෙසත්, ගස් කොළන් දෙසත් අප බලනවා ඇත.

         ---- ළමා සිතිවිලි සමාජයේ මෙහෙයවීමෙන් වර්ෂ 1976 අප්‍රේල් 18 ඉරිදා අනුලා ළදරැ පාසලේ දී ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් පවත්වන ලද කථාවක සාරාංශයයි. (-සිතුවිලි කාණ්ඩ -5)
---ප.ලි---
            මෙය ළදරු පාසලක දරුවන් වෙනුවෙන් කරන ලද කථාවක් බව කරුණාවෙන් සලකන්න.

No comments:

Post a Comment